කෝකිලායි කුරුළු අභයභූමිය (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය )

අලුත් දේවල් දකින්නට ආසාවෙන් ලංකාව වටේ ගමන් කරන අයෙකුට නැගෙනහිර වෙරළ තීරයේ ත්‍රිකුණාමලයෙන් ඉහළ මුලතිව් දක්වා ඇති මාර්ගයේ ගමන් ගතහොත් ඉතාම නැවුම් අත්දැකීමක් ලබන්නට හැකිවේවි. අපූරු පරිසර පද්ධතියක් මේ මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව පිහිටා තියෙනවා. යුද්ධය නිසා ස්පර්ශ නොවූ ප්‍රදේශ සහ පුංචි නිවාස පමණක් ඇති නිසා ගාලු පාර හෝ වෙනත් වෙරළබඩ මාර්ගයකදී විඳින්නට නොලැබෙන අත්දැකිම් විඳින්නට පුළුවන්. එහෙත් මේ මාර්ගය ත්‍රිකුණාමලය පසුකොට මුලතිව් ඉහළට යන මාර්ගය පුල්මුඩේ වලදී ලොකු මාර්ග බාධකයකට මුහුණදෙනවා. ඒ කලපුවක් සහ අභය භූමියක්. කෝකිලායි කලපුව සහ ඒ සමඟ ඇති කෝකිලායි අභය භූමියයි ඔබට හමුවෙන මාර්ග බාධකය.
පුල්මුඩේ පසුකරන මාර්ගයට කෝකිලායි කලපුව හරහා මුහුද අයිනෙන් වැටෙන පාලමක් තිබුණානම් කෝකිලායි අභය භූමිය වටේ ගමන් කරන්නට ඇති කිලෝමීටර් ගණනාවක දුර ඉතිරි කරගත හැකියි. එවන් පාලමක් ගැන යෝජනා තිබුණත් එය නුදුරේ ඉදිවන බවක් පෙනෙන්නට නැහැ. ඉතින්, පුල්මුඩේ පසුකරන අයෙක් පදවිය දෙසට ගොස් වටයකින් මුලතිව් දෙසට යා යුතුයි. එයත් අපූරු අත්දැකීමක්.
අභය භූමිය
කෝකිලායි කලපුව ආශ්‍රිතව විශේෂ පරිසර පද්ධතියක්, කඩොලාන පද්ධතියක් සහ සත්ව ගහණයක් පවතින නිසායි කෝකිලායි කළපුව ආශ්‍රිත පරිසර ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කර ඇත්තේ.
කෝකිලායි අභය භූමිය පක්ෂි විශේෂ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. විශේෂයෙන් ලංකාවේ විශාලතම පක්ෂියා ලෙස සලකන අලි මානාවා කෝකිලායි අභය භූමියේ ජීවත් වෙනවා. කුමන වැනි වනාන්තර කිහිපයක පමණක් ජීවත්වෙන අලි මානාවා රතු දත්ත පොතට ඇතුලත් වී සිටින පක්ෂියෙක්. මීට අමතරව පක්ෂි විශේෂ 176ක් පමණ කෝකිලායි කලපුවේ පහස විඳිනවා.
අලි මානාවා ( දිණමින )
කෝකිලායි අභය භූමිය අලි ඇතුන් තිහකට වැඩි ප්‍රමාණයක් වාසය කරන ප්‍රදේශයක් බවද පරිසරවේදීන් කියනවා. කෝකිලායිහිදී අලියෙකු මුහුදෙහි ගසාගෙන යන අතරෙහි නාවික හමුදාවෙන් ගලවාගත් සිදුවීම මෑතකදී බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වුණා. මේ වෙද්දී මිනිස් ක්‍රියාකාරකම් නිසා කෝකිලායි අභය භූමිය පැවැත්මේ තර්ජනවලට මුහුණදෙමින් සිටින බවත් පරිසරවේදීන් කරුණු දක්වා තියෙනවා.
කෝකිලායි ගම්වාසීන් අප සමඟ කී විදියට කෝකිලායි අභය භූමිය වෙත විදේශීය සංචාරකයන් පැමිණෙන්නේ කලාතුරකින්. එසේ පැමිණියත් කෝකිලායි සහ ශ්‍රී ලංකාව ගැන විශේෂ තොරතුරු දත් කුරුල්ලන් සහ පරිසරය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සංචාරකයන්. ලාංකික සංචාරකයන්ද තමන්ගේ චාරිකාවල ගමනාන්තය ලෙස කෝකිලායී, පුල්මුඩේ ප්‍රදේශ තෝරාගන්නේ කලාතුරකින්. ත්‍රිකුණාමලයට පැමිණෙන සංචාරකයන් වුව කෝකිලායි වෙත යන්නට උනන්දුවක් දක්වන්නේ නැහැ. එහෙත් කෝකිලායි පරිසර පද්ධතිය නැරඹීමට වෙන්කරගන්නා කාලය කිසිසේත් අපතේ නොයන බව ඒ ප්‍රදේශවල සංචාරයේදී අප ලත් අත්දැකීමයි. කෝකිලායි කලපුව ආශ්‍රිතව ඇති වැලිපරයත් නිතර දකින්නට නැති හැඩතල දෑස් ඉදිරිපිට මවනවා.







Comments