පරාක්‍රම සමුද්‍රය (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

පොළොන්නරුවේ පිහිටි පරාක්‍රම සමුද්‍රය මහා පරාක්‍රමබාහු රජතුමාගේ විශිෂ්ට නිර්මාණයකි.පරාක්‍රම සමුද්‍රය පිහිටි ප්‍රදේශයේ කලින් පැවති ජලාශ තුනක් වන තෝපා වැව, දුමුටුලු වැව හා එරමුදු වැව යන වැව් තුන එකට එක්කර මෙම පරාක්‍රම සමුද්‍රය ගොඩනන්වන ලදී.පරාක්‍රම සමුද්‍රය වෙත ජලය රැගෙන ඒමට ආකාස ගංගාව නමැති ඇළ ඉදි කර තිබෙන්නේ අඹන් ගඟ අංගමැඩිල්ලේ දී හරස්‌ කර වේල්ලක් ඉදිකිරීමෙනි.වර්තමානයේද පැරණි කළුගල් අමුණේ නටබුන් ඉතිරිව පවතියි.පෞරාණික වටිනාකමක් පවතින අංගමැඩිල්ල අමුණ හා භූ වැවේ සොරොව්වද අතීතයේදී භාවිත වූ අදටත් ශේෂව පවතින පැරණි වාරි නිර්මාන ලෙස හදුන්වා දිය හැක.පරාක්‍රම සමුද්‍රය ඉදිකිරීමට පෙර පැවති දුමුටුලු වැව සහ එරමුදු වැව පුරාණයේ ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා ගත් කුඩා වැව් දෙකක වන අතර තෝපාවැව හතරවැනි සියවසේ දී උපතිස්ස රජු විසින් නිර්මාණය කරන ලද්දකි.මෙම ජලාශයේ වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38ක් වන අතර උසින් මීටර් 9.45කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි.71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5වේ. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07කි.මෙම ජලාශය තුල කුඩා දූපත් ගණනාවක් දැකිය හැකි අතර ඉන් සමහර දූපත් තුල පැරණි නටඹුන් පවා දැකිය හැකිය.
උතුරින් හබරණ ප්‍රදේශය, සින්නකුලම් හා දිවුලන්කඩවල වැව දක්වා මෙම මහා ජලාශය ව්‍යාප්තව පවතින අතර දකුණින් කලහගල ගම්මානය, කලහගල වැව, කුකුරු මහවෙල, අංගමැඩිල්ල, කොටවැල්ල වැනි ගම් දක්වා පැතිරී පවතියි.නැගෙනහිරින් පොළොන්නරු නගරය සහ ගොනාගොල්ල දක්වා විහිදී පවතියි.බටහිරින් සුදුකන්ද හා නැබදිල්ල කඳුවැටියට මායිම්ව පවතියි. මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංඟාවක් වන අඹන් ගඟ හරස් කර අඟමැඩිල්ලේ ඉදි කල අමුණ මඟින් ආකාශ ගඟ නමින් හැඳින්වූ ඇල මාර්ගයෙන් ද ගිරිතලේ වැව් ජලය තඹලවැව සහ කඩවලවැව හරහා ගලා එන ජලයෙන් ද පරාක්‍රම සමුද්‍රයට ජලය සපයන අතර එම ඇල මාර්ගය වර්තමානයේ මා ඔය නමින් හැඳින්වේ.වර්ෂා සමයන්හි දී සුදුකන්ද ජල පෝෂක ප්‍රදේශයෙන් ගලා එන ඇල මාර්ග කිහිපයකින් මෙම ජලාශය පෝෂණය වේ.


Comments