ත්‍රිකුණාමලය දකින්නට එන සංචාරකයන් අනුරාධපුර පාරේ ටික දුරක් ගමන් කරන්නේ කන්නියාවේ උණුදිය ළිං සොයාගෙන ය. ත්‍රිකුණාමලයට එන අය ස්නානය පිණිස සොයා යන නිලාවේලි, මාබල් බීච් වැනි ස්නානයට උචිත සුන්දර වෙරළ තීරවලට වඩා සමහර සංචාරකයන්ට උණුදිය උල්පත් වැදගත් ය. ඒ එහි ඇති ඖෂධීය ගුණය පිළිබඳ විශ්වාසයක් විශේෂයෙන් ම චර්ම රෝග ආදියට ඒ ජලය ගුණදායක බවට විශ්වාසයක් ඇති හෙයිනි. එහෙත් සමහරු නම වරදවා ගෙන කින්නියාව යයි උසුරුවති. උණුදිය උල්පත් ඇති ගම්මානය කන්නියාවයි. කින්නියාව යනු ත්‍රිකුණාමලය ආසන්නයේ ඇති වෙනත් නගරයකි. එහෙයින් නම් ගම් වරද්දා නො ගත යුතු ය. එවිට කන්නියාවේ උණුදිය උල්පත් වෙනුවට ඔබට කවුරුන් හෝ චීන වරාය හරහා කින්නියාවට යන්නට පාර කියනු ඇත.
ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් ඇති ස්ථානවල නාමලේඛන පිරික්සන විට එවන් ස්ථාන දහයක් පමණ ඇති බව සනාථ වෙයි. කලකට ඉහත දකින්නට තිබුණු ඇතැම් උණුදිය උල්පත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අද දකින්නට නැත. ඇඹිලින්න ප්‍රදේශයේ තිබූ උණුදිය උල්පත ඉඟිනියාගල සේනානායක සමුද්‍රය සාදන විට ඊට යට වූ බව සඳරුවන් ලොකුහේවා සඳහන් කරයි. කන්නියාව හැරුනු විට මහ පැලැස්ස සූරියවැව හෙවත් මාදුනාගල, මහඔය මහසියඹලාගස්කණ්ඩිය, මහඔය කපුරුල්ල, මරන්ගල වහව, කිවුලේගම, ගෝමරන්කඩවල රන්කිහිරිය, නෙළුම්වැව ගල්වැව වැනි ස්ථානවල ද උණුදිය උල්පත් ඇති බව සඳහන් ය. කොතෙක් උණුදිය උල්පත් තිබුණත් කන්නියාව උණුදිය උල්පත් හැම විට ම සංචාරකයන්ගෙන් පිරී ඇති උණුදිය උල්පත් සේ හැදින්වීම වඩාත් උචිත ය. හැම විටක ම එහි ඇති උණුදිය ළිං වලින් දේශීය හා විදේශීය සංචාරකයන් ස්නානය කරනු දැකිය හැක. එසේම ලන්දේසි යුගයේ පටන් ම ඇතැම් විට ඊටත් පෙර සිට මෙම උණුදිය උල්පත අවධානයට ලක් වී තිබිණි.
ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් එකක් හැර සියල්ල ස්ථානගතව ඇත්තේ නැඟෙනහිර පළාතේ ය. මාදුනාගල දකුණු පළාතට අයත් වෙතත් මේ සියල්ල එකම රේඛාවක පිහිටා ඇති බව සිතියම පිරික්සන විට පෙනී යයි. “ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත්” නමින් පොතක් කරන සඳරුවන් ලොකුහේවා පෙන්වා දෙන ආකාරයට භූ විද්‍යානුකූලව මෙම උණුදිය උල්පත් පිහිටා ඇත්තේ නැඟෙනහිර විජයානු සංකීර්ණය නම් වූ භූ කලාපය තුළ ය. විස්තර සහිතව දක්වන්නේ නම් උණුදිය උල්පත් පිහිටන්නේ රට මැද තිබෙන උස්බිම් තීරය හා ඊට මායිම් ව පිහිටි නැගෙනහිර විජයානු සංකීර්ණය නම් භූ කාණ්ඩයන් දෙක එක්වන මායිම ඔස්සේ ය. මේ අනුව උණුදිය උල්පත් පැන නගින්නේ භූ කලාප දෙකක් අතරේ ය. එහෙත් මේ මායිම තුළ ඇති හැම උල්පතක් ම උණුදිය උල්පතක් නො වන බව අප මතක තබා ගත යුතු ය. මෙකියන භූ කලාප දෙකේ පාෂාණ වර්ග ද, ඒවා ඇති වූ අන්දම ද, ඒවා ඇති වූ ආකාරය ද එකිනෙකට වෙනස් බව සඳරුවන් ලොකුහේවා පෙන්වා දෙයි. භූ තල අභ්‍යන්තරයේ ඇතිවන යම් යම් ක්‍රියාකාරිත්වයන් නිසා මෙවන් උණුදිය උල්පත් ඇතිවිය හැකි යයි මතයෙක් වෙයි.
කන්නියාවේ උණුදිය උල්පත් හා සබැඳි ජනප්‍රවාදය රාවණා යුගය තෙක් දිව යයි. ජනප්‍රවාදයට අනුව රාවණා රජ්ජුරුවන්ගේ අම්මාට කුෂ්ඨ රෝගයක් වැළඳී තිබේ. අම්මාගේ කුෂ්ඨයට පිළියම් සොයා වෙහෙසෙන රාවණාට දිනක් සිහිනයක් දක්නට ලැබේ. සිහිනයෙන් කියැවුණු තැනට පැමිණ උල්පත සොයා ගත් රාවණා රජු ළිඳක් බඳවා, එතැන ම දේවාලයක් ඉඳිකොට උල්පතේ උණුදියෙන් අම්මා නෑවී ය. ඇගේ කුෂ්ඨ රෝගය ඉක්මනින් ම සුව වීලු. එතැන් පටන් උණුදිය ළිඳ හා දෙවොල පූජනීයත්වයට පත් වීලු.
කන්නියාවේ උණුදිය උල්පත් පිළිබඳව රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයාව සිටි වෛද්‍ය ජෝන් ඩේවි සිය ග්‍රන්ථයේ අගනා විස්තරයක් සපයයි. (ඇල්ලේපොළ එච්. එම්. සෝමරත්න 1967 දී ඩේවි දුටු ලංකාව නමින් කළ පරිවර්තනයේ මෙම විස්තර දැකිය හැක.) ඩේවි කන්නියාවට ගියේ 1817 ඔක්තෝබර් 19 වනදා දේවගැති ජෝර්ජ් බිසට් සමඟ ය. ඩේවි යන විට ද එහි උණු ළිං හත ගඩොළු බැම්මෙන් බැඳ තිබිණි. වටේ ට බඳින ලද උස් ගඩොළු තාප්පය අඩි 36 ක් දිග හා අඩි 16 ක් පළල බව ඩේවි කියයි. ඔහු එක් එක් ළිඳේ උෂ්ණත්වය අද මෙන් සෙල්සියස් වලින් නො ව ෆැරන්හයිට්වලින් මැන දක්වයි. එසේ ම ළිංවල ගැඹුර හා පළල වෙන වෙන ම මනිමින් විස්තර දක්වයි. ජෝන් ඩේවිගේ නිරීක්ෂණයට අනුව සියලුම ළිංවල උෂ්ණත්වය ඔහු මුලින් ම උෂ්ණත්වය මැනීමෙන් පැය තුනකට පසු වෙනස් විය. උණුදිය උල්පත්වලින් කියැවෙන පෘථිවියේ අභ්‍යන්තරය හා අතිගුප්ත විස්මයකර ස්වභාව ධර්මයේ ආශ්චර්ය ජෝන් ඩේවි විස්මයට පත් කරලූ බවත් උණුදිය ළිං වෙන වෙන ම ගෙන ඒ පිළිබඳ තත්ත්වඥයකුගේ විස්තරයක් වැනි සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නට ඔහු පෙළඹවූ බවත් සඳහන් කරයි.
කොහොමටත් කන්නියාව උණුදිය උල්පත් සමූහය වනාහි ස්වභාව ධර්මයේ විස්මයජනක නිරිමාණයක් ය යන අදහස බැහැර කළ නො හැක. ඒ පිළිබඳ ගවේෂණය කරන්නට කැමති නූතන ජෝන් ඩේවිලා එන තුරු ඒ ළිංපෙළ බලා සිටිනවා වැන්න.




Comments
Post a Comment