වැලිකන්ද බොරවැව උණුදිය උල්පත් (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

වැලිකන්ද, බොරවැව ප්‍රදේශයේ නෙළුම්වැව මධ්‍යයේ පිහිටි ලංකාවේ ඇති වැඩිම උෂ්ණත්වයක් සහිත උණුදිය උල්පත් බලධාරීන්ගේ ඇස නොගැටීම හේතුවෙන් මේ වන විට අගාධයට යමින් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
සොබා දහමේ දුර්ලභ නිර්මාණයක් වශයෙන් සැලකෙන මෙම උණු දිය උල්පත් 2008 වසරේදී වැලිකන්ද ප්‍රාදේශිය සභාව මඟින් රුපියල් ලක්ෂ 100ක වියදමකින් උල්පත් 07ක් ප්‍රතිසංස්කරණය කළ ද මේ වන විට ඒ වාද ගරා වැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
නෙළුම් වැව මධ්‍යයේ පිහිටි මෙම උණුදිය උල්පත් නැරඹීම සඳහා මාර්ගයක් නොමැති නිසාවෙන් මෙවා විනාශ මුඛයට ඇඳ වැටී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
වැවේ ජලය නොමැති කාලවදී මෙම උණුදිය උල්පත් නැරඹීමට යා හැකි අතර වැව ජලය ඇති කාලවල මෙම උල්පත් නැරඹීම සඳහා යාමට නොහැකි බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
2003 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාල භූගර්භ විද්‍යාඥ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්‍ය ඩබ්.කේ. ධර්ම ගුණවර්ධන මහතා විසින් කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම උණු දිය උල්පත් තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 62 ක උෂ්ණත්වයක් ඇති බවත් එය ලංකාවේ ඇති අනෙකුත් ළිංවලට සාපේක්ෂව වැඩිම අගය බවට තහවුරු කර තිබේ.
අම්පාරේ මහ ඔය උණුදිය උල්පත සෙන්ටිග්‍රේඩ් අංශක 56ක්, මඩකලපුවේ කපුරුල්ල උණුදිය උල්පත් සෙන්ටිග්‍රේඩ් අංශක 55ක්, පදියතලාවේ මරගල උණුදිය උල්පත් සෙන්ටිග්‍රේඩ් අංශක 44ක් වන බව ද අනාවරණය කර තිබේ.
වැලිකන්ද ප්‍රදේශයේ ඇති මෙම උණුදිය උල්පත් මහවැලි බී කලාපය මඟින් පාලනය වන අතර, එහි නේවාසික ව්‍යාපාර කලමණාකාර තුෂාර දන්තනාරායන මහතාගෙන් සිදු කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් ඉදිරියේ දී ඉක්මනින් විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වන බවත්ය

Comments