ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අතරින් සුවිශේෂි ලක්ෂණ වලින් හෙබි ජාතික වනෝද්‍යානයක් වන පිටාර තැන්න හෙවත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය උතුරු මැද පළාතේ පොළොන්නරුවට ආසන්නව පිහිටා ඇත. වසර 1984 අගෝස්තුමස 04 වන දින වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික වනෝද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත් කළ මෙම වනාන්තරය වස්ගමුව හා සෝමාවතිය යන ජාතික වනෝද්‍යාන යාකරන අලි මංකඩක් හෙවත් වල් අලින්ගේ සංක්‍රමණික මාර්ගයක්(Elephant Coridor) ලෙසටද ප්‍රසිද්ධය.
විශාලත්වය හෙක්ටයාර් 17,380 ක් වන හෙවත් වර්ග සැතපුම් 67 ක් හෙවත් වර්ග කිලෝ මීටර් 153.50 කි. කොළඹ සිට ඊසාන දෙසින් පොළොන්නරු මාර්ගයේ කිලෝ මීටර් 222 ක් හෙවත් සැතපුම් 138 ක් දුරින් උතුරු අක්ෂාංශ අංශක 7 කලා 55 විකලා 05 ත් නැගෙනහිර දේශාංශ අංශක 81 කලා 05 විකලා 12 ත් අතර මෙම ජාතික උද්‍යානය පිහිටා ඇත.
භෞතික පක්ෂණ
මහවැලි ගඟ මෙම වනෝද්‍යානය මැදින් දකුණු දෙස සිට උතුරු දෙසට ගලා යයි. මෙම භූමියේ තැනින් තැන මීටර් 20 ත් 30 ත් අතර උස ප්‍රමාණයක උසින් යුත් ගල් කුළු තැනින් තැන දක්නට ලැබේ. ඇලුවියෙල් පසින් පොහොසත් මෙම උද්‍යානයේ නොගැඹුරු මඩ සහිත විල්ලු ප්‍රදේශ 38 ක් දක්නට ලැබේ. මෙම විල්ලු , මඩ තැනි සහ පිටාර තැනි ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියාකරයි. ජලයෙන් පිරී පවතින බැවින් පෝෂක ද්‍රව්‍ය මෙහි අඩංගුවෙයි. එබැවින් සරු ශාක ගහනයක් මෙහි දක්නට ලැබේ. වර්ෂාව වැඩි වීමත් සමගම මෙහි පවතින ජලය පෝෂ්‍ය ගුණයෙන් පිරීයයි. වර්ෂාව අඩු කාලයේදී ඉතාමත් සරුසාර තණපිටියක් බවට මෙම විල්ලු ප්‍රදේශ පත්වෙයි. එවන් කාලවලදි මෙම තණපිටි ශාක භක්ෂක සත්ත්ව විශේෂ වලට විශේෂයෙන් අලි ඇතුන් සඳහා ආහාර සපයන ගබඩාවක් බවට පත්වෙයි.
වසරේ ඔක්තෝබර් මාසයේ අග සීමාවේ සිට ජනවාරි මාසය පුරාම ලැබෙන ඊසාන දිග මෝසම් වර්ෂාව නිසා තව තවත් මෙම ජාතික වනෝද්‍යානය පෝෂණය වෙයි. මාර්තු මස සිට සැප්තැම්බර් දක්වාවූ කාල සීමාවේ වියළි දේශගුණික ස්වභාවයක් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ දක්නට ලැබේ. කෙසේ වෙතත් වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1650 ක් පමණ වන් අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල් සියස් අංශක 27 ක් පමණ වෙයි. ආර්ද්‍රතාව පවතින උෂ්ණත්වය අනුවත් සුළං රටාව අනුවත් වෙනස්වෙයි

Comments