පොලොන්නරුව තිවංක පිළිම ගෙය (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

සිංහල චිත්‍ර ශිල්පීන් අනුරාධපුර යුගයේ සිට අනුගමනය කළ සම්භාව්‍ය සම්ප්‍රදාය පොළොන්නරු යුගයේදී තරමක් වෙනස් වූ බවක් පෙනේ. මේ බව ඒත්තුගන්වන සිතුවම් සම්ප්‍රදායන් දෙකකට නෑකම් කියන සිතුවම් රැසක් ඇති කලාගාරයක් ලෙස තිවංක පිළිමගෙය හැඳින්විය හැකිය. තිවංක පිළිම ගෙයි ඇති සිතුවම් බෞද්ධ සිතුවම් කලාවේ සන්ධිස්ථානයක් ලෙස සමහරු හඳුන්වති. මෙහි සිතුවම් පසු කාලින බෞද්ධ සිතුවම් වල ශෛලිය කෙරෙහි බලපෑමක් සිදුකොට ඇත. බෞද්ධ විහාරයක අඳින ලද පැරණිතම ජාතක කතා සිතුවම් දක්නට ලැබෙන්නේ පොළොන්නරුවේ තිවංක පිළිම ගෙයෙහිය.
තිවංක පිළිමගෙය
ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ පොලොන්නරුව රාජධානියේ රජ වූ මහා පරාක්‍රමබාහු රජතුමා කරවූ ජේතවනාරාම සංකීර්ණයේ විහාර ගෙය තිවංක පිළිම ගෙයයි. මෙය උතුරු වෙහෙර ලෙසද හඳුන්වා ඇත. පොළොන්නරුවේ ලංකාතිලකය, ථුපාරාමය මෙන්ම මේ විහාර ගෙයද ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙයකි. මෙහි වූ අඩි 35 ක් පමණ උස හිටි බුදු පිළිමය දන, උකුල හා උරහිස යන තුන් තැනින් නැමුණු සේ ඉදිකොට තිබු බැවින් එය තිවංක පිළිම ගෙය ලෙස හැඳින්වින. මේ ගොඩනැගිල්ලේ දිග අඩි 133 ක් පමණ වන අතර පළල අඩි 67 ක් පමණ වේ. ආරුක්කු හැඩයෙන් ගඩොලින් කල පියස්සක් තිබු මෙහි උස අඩි 55 ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙහි බිත්ති අඩි 7 සිට 12 පමණ වන ඝනකමින් යුක්තය. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී පශ්චාත් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය අනුගමණය කර ඇති බවක් පෙනේ. ගොඩනැගිල්ලේ පිටත බිත්ති විමාන, දෙවරූප, වාමන රූප, සිංහ රූප, හංස රූප, කුඩ්‍යස්ථම්භ, බෝධි සත්ව ආදී නොයෙක් කැටයම් වලින් පරිපුර්ණ කොට ඇත. පිළිම ගෙය තුල දෙපස වේදිකාවේ රැඳවු ගල් කණු ආධාරයෙන් ඉහල මහල් තනා තිබී ඇත.
මේ හැමටම වඩා මේ විහාරය සුවිශේෂී වන්නේ එහි දක්නට ලැබෙන බිතුසිතුවම් නිසාවෙනි. තිවංක පිළිම ගෙය තුල සස, ආසන්කවතී, මුගපක්ඛ, මෛත්‍රී බල, වෙස්සන්තර, තුන්ඩිල, විධුර, ගුත්තිල, චුල්ල පදුම, සාම, මහා සුදස්සන, කුස, උම්මග්ග ආදී ජාතක කතාද, බුද්ධ චරිතයේ විවිධ අවස්ථාද, දේවාරාධනාව, සතරවරම් දෙවිවරු, බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම ආදී සිතුවම් ඇඳ තිබිණ.
1215 දී පමණ කාලිංග මාඝ පොලොන්නරුව ආක්‍රමණය කොට වසර 21 ක් පමණ එහි පාලනය ගෙන ගියේය. මේ කාලයේදී ඔහු බෞද්ධ වෙහෙර විහාර රාශියක් ව්නාශ කරන්නට පෙළඹින. ඒ අනුව මේ තිවංක පිළිම ගෙය හා එහි ඇඳි සිතුවම්ද විනාශයට පත් කළේය. 1236 දී දෙවන පරාක්‍රම බාහු රජතුමා පොලොන්නරුව නැවත අත්පත් කරගැනීමෙන් පසු මේ තිවංක ගෙය ඇතුළු විනාශයට පත්කොට තිබු වෙහෙර විහාර රැසක් ඔහු ප්‍රතිසංස්කරණය කළේය.
පසු කාලීනව සිංහල රාජධානිය දකුණු දෙසට සංක්‍රමණය වූයෙන් පොළොන්නරුව වල්බිහි විය. සියවස් අටක් පමණ මේ විහාර ගෙයද අත්හැර දමා තිබූයෙන් එය ගරාවැටී ඒ මත රූස්ස ගස් පවා වැවී තිබුණි. 1885 දී පමණ මේ ගොඩනැගිල්ල පාදා ගනු ලැබුවේ එවකට සිවිල් නිලධරියෙකුව සිටි එස්.එම්. බරෝස් මහතාය. පිළිමගෙය ගරාවැටී හා එහිවූ සිතුවම් වල දීප්තිමත් භාවයද බොහෝදුරට අඩුවී තිබුනද ඒවා යම් තරමකට ආරක්ෂාවී තිබී ඇත . මේ සිතුවම් සමහරක් 1886 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ ඒ. මරේ නම් මහතෙකු විසින් පිටපත් කොට ඇත. මේ සිතුවම් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත්තේ 1940 පමණ කාලයේදීය. එහෙයින් මේ සිතුවම් සොයා ගැනීම හා සංරක්ෂණය කිරීම යන කාල සීමාවන් අතරතුරද ඒවා සෑහෙන ප්‍රමාණයකට විනාශවී ගොස් ඇති බවද කියති.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්,සී.පී. බෙල්, මහතාත් ඊළඟ කොමසාරිස් වරයා වූ ලෝන්ග්හර්ස්ට් මහතාත් මෙහි සිතුවම් ආරක්ෂා කරගැනීමට පියවර ගෙන ඇත. සිතුවම් මතුපිට මි ඉටි ආලේප කොට ඇත්තේ ලෝන්ග්හර්ස්ට් මහතාගේ කාලයේය. සෙනරත් පරණවිතාන මහතාද මේ සිතුවම් ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ පියවර ගෙන ඇත. දැන් මේ ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වහලක් ඉදිකර ඇත.
තිවංක පිළිම ගෙයෙහි බුදු පිළිමය ගඩොල් හා මැටි ආදියෙන් නිමවා බදාම වලින් පිරියම් කොට වර්ණාලේප කර තිබෙන්නට ඇත. පද්මාසනයක් මත ත්‍රිභංග ආකාරයෙන් නිමවා ඇති මෙහි ශීර්ෂය කොටස හා දෑත් ආදිය විනාශවී ඇත.
බුදු පිළිමය
තිවංක පිලිමගෙයහි ද්වාර මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යන ස්ථාන තුනෙහිම විනාශයට පත් නොවූ සිතුවම් කොටස් දැකගත හැකිය. පිරියම් කරනු ලැබූ වියලි බිත්ති මත රතු රේඛා වලින් සලකුණු කොට වර්ණ ගන්වා ටෙම්පරා ක්‍රමය අනුව සිතුවම් ඇඳ ඇති බව පෙනේ. සිතුවම් වර්ණ ගැන්වීම සඳහා යොදාගෙන ඇත්තේ රතු, කොළ, කහ හා කළු යන වර්ණ හතරයි. මේ වර්ණ පිළියෙළ කිරීම සඳහා යොදාගෙන ඇත්තේ සාදලිංගම්, ගුරුගල් පතඟී, නිල් අවරිය, නොයෙක් කොළ වර්ග, ගොකටු, හිරියල්, මකුළු මැටි, දුම්මල, කොහොල්ලා ආදිය පිලිස්සීමෙන් ලබාගත් දැලි ආදියයි. සිතුවම් කල් පවත්වා ගැනීම සඳහාද නොයෙක් දේශීය අමුද්‍රව්‍ය යොදා සකස් කරගත් ආලේපන වර්ග යොදාගෙන ඇත.
තිවංක පිළිම ගෙයි ඇඳ ඇති සිතුවම් අතරින් හඳුනා ගත හැකි ලෙස ශේෂ වී ඇති සිතුවම් සමහරක් මෙසේය.
විහාරගෙයට ඇතුළුව ඉදිරියට යනවිට පළමුව වම් පැත්තේ ආසන්කවතී ජාතකය දැක්වේ.
ඊළඟට ඇත්තේ සස ජාතකයයි.
ඒ ඉදිරිපස දකුණු පස කාලගෝල කතාවයි.
දකුණේ අනතුරුව මහා මායා දේවිය දුටු සීනය හා බෝසත් උපත ඇත.
වම් පස විදුර, චුල්ලපදුම හා මෛත්‍රී බල ජාතක කතා ඇඳ තිබේ.
නැවත දකුණු පස මහා සුදස්සන හා තේමිය ජාතක වේ.
ඊළඟට වම පස බිත්තිය පුරා තුසිත දෙව්ලොව සිටි බෝසතුන්හට බුදුවීමට දෙවි වරුන් විසින් කරන “දේවාරාධනාව” දැක්වේ.
පිළිමය ඉදිරි පස බිත්තියේ සතර වරම් දෙවි වරුය. ඒ අතර දැක්වෙන අමුතු ආකාරයේ හිස්වැස්මක් පැළඳ ඇති අය පිට සක්වල වැසියෙක් ලෙසට සමහරු අර්ථ දක්වති.
පිළිමයට දකුණු පස බිත්තියේ බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම චිත්‍රණය කර තිබේ.
පිළිමගේ ඇතුලත කුළුණු වලද අලංකාර මෝස්‌තර දක්නට ඇත.











Comments